Followers

Sunday 30 July 2023

පෙම්වතා

 

පිල්ලමෙන් පිල්ලමට ආදරේ මං සෙවූ
දිගුම පිල්ලම් පිරුණු ඇස් දෙකකි මුලා වූ
ඇඟිල්ලෙන් ඇඟිල්ලට ජීවිතේ දිග සෙවූ
අතක් ඇති අහම්බෙන් නුඹ ඇවිත් තනි කෙරූ

ඉලිප්පෙන නහරයෙත් කලාවක් මං දුටූ
නිමිත්තකි කවියකට විරහවෙන් පණ පෙවූ
අමාවක සඳක පුර පෝ සඳක රැස් තැබූ
මුලාවකි ගණදුරේ ආත්මය තනි කෙරූ

ආදරේ කිය කියා
මැණිකකට සම කෙරූ
දුරැර ගිය පෙම්වතකි
පෙමට අවමන් කෙරූ

Wednesday 12 July 2023

තනි නැත අඬ සඳ

 රිදෙන තැන් නොරිදෙන්න සීරුවට පුරුද්දා 

වළාගැබ හිස්තැනක අඬ සඳක් එල්ලුවා


එලිය නැති තැන්වලට අඬ අඳුර අත වනා

තරු එකක් දෙක තුනක් ඒ අතර විසිරුවා


කොහොමහරි රෑ අහස ලස්සනට සරසලා

තරු එකක් දෙක තුනක් හිතුමතේ යා කරා


රෑ අහසෙ ඉන්නවයි කියපු අය නැති නිසා 

රටා ඇඳ ඇඳ මකා දෙතුන්වර පීරුවා


අහම්බෙන් ඇස් දෙකක් රටාවක දිලිසුණා

තරුත් ආගන්තුකයි රහසේම මිමිණුනා


වීණාවී

(අ)සුන්දරයි

නැති වීම

තනි වීම

මියැදීම 

සුන්දරයි


රෝමාන්තිකය

නුඹ හිමි වීම

(අ)සුන්දරයි


අළු පාට හැන්දෑව

මා බොහෝ

වෙහෙසවයි


අභ්‍යන්තර රිදුම්

පිසඳලනු

අවැසිමයි


මරණීය හාදුවක්

මොහොතකට

අවැසිමයි


හදවතට බොහෝ ළඟ

නුඹ වාරු විය යුතුයි


වීණාවී

Tuesday 4 July 2023

යශෝදරා

සැඟ වුවත් ලෝකයෙන් හැංගිච්ච ඇත්ත

උගුරටත් හොරා බිව් බෙහෙත්මයි තිත්ත

ඇඹුල් කට ගාපු හැමදාම මම ඉම්බ

අන්නාසි ගැටවලත් හැංගුණා තිත්ත


ආදරේ හදවතෙන් දොවා ගත් දාක

හඳ හාවා පැන ගියා අඬ අඬා රෑක

මෝරලා උඹ එද්දි පලාගෙන බොක්ක

අප්පා බුදි රත්තරන් පන්සලේ වලක


කටු ඇනුණු ඇස්වලට වගතුවක් නෑ කීව

පෝය හඳ වගේමයි රත්තරන් සුදු මූණ

ජාතකේ හිස් කොටුව පුරෝගෙන බැබලෙන්න

යශෝධරා වුනා මං උඹත් සසුනට දුන්න












පෙම්වතා

  පිල්ලමෙන් පිල්ලමට ආදරේ මං සෙවූ දිගුම පිල්ලම් පිරුණු ඇස් දෙකකි මුලා වූ ඇඟිල්ලෙන් ඇඟිල්ලට ජීවිතේ දිග සෙවූ අතක් ඇති අහම්බෙන් නුඹ ඇවිත් තනි...