Followers

Sunday 30 July 2023

පෙම්වතා

 

පිල්ලමෙන් පිල්ලමට ආදරේ මං සෙවූ
දිගුම පිල්ලම් පිරුණු ඇස් දෙකකි මුලා වූ
ඇඟිල්ලෙන් ඇඟිල්ලට ජීවිතේ දිග සෙවූ
අතක් ඇති අහම්බෙන් නුඹ ඇවිත් තනි කෙරූ

ඉලිප්පෙන නහරයෙත් කලාවක් මං දුටූ
නිමිත්තකි කවියකට විරහවෙන් පණ පෙවූ
අමාවක සඳක පුර පෝ සඳක රැස් තැබූ
මුලාවකි ගණදුරේ ආත්මය තනි කෙරූ

ආදරේ කිය කියා
මැණිකකට සම කෙරූ
දුරැර ගිය පෙම්වතකි
පෙමට අවමන් කෙරූ

Wednesday 12 July 2023

තනි නැත අඬ සඳ

 රිදෙන තැන් නොරිදෙන්න සීරුවට පුරුද්දා 

වළාගැබ හිස්තැනක අඬ සඳක් එල්ලුවා


එලිය නැති තැන්වලට අඬ අඳුර අත වනා

තරු එකක් දෙක තුනක් ඒ අතර විසිරුවා


කොහොමහරි රෑ අහස ලස්සනට සරසලා

තරු එකක් දෙක තුනක් හිතුමතේ යා කරා


රෑ අහසෙ ඉන්නවයි කියපු අය නැති නිසා 

රටා ඇඳ ඇඳ මකා දෙතුන්වර පීරුවා


අහම්බෙන් ඇස් දෙකක් රටාවක දිලිසුණා

තරුත් ආගන්තුකයි රහසේම මිමිණුනා


වීණාවී

(අ)සුන්දරයි

නැති වීම

තනි වීම

මියැදීම 

සුන්දරයි


රෝමාන්තිකය

නුඹ හිමි වීම

(අ)සුන්දරයි


අළු පාට හැන්දෑව

මා බොහෝ

වෙහෙසවයි


අභ්‍යන්තර රිදුම්

පිසඳලනු

අවැසිමයි


මරණීය හාදුවක්

මොහොතකට

අවැසිමයි


හදවතට බොහෝ ළඟ

නුඹ වාරු විය යුතුයි


වීණාවී

Tuesday 4 July 2023

යශෝදරා

සැඟ වුවත් ලෝකයෙන් හැංගිච්ච ඇත්ත

උගුරටත් හොරා බිව් බෙහෙත්මයි තිත්ත

ඇඹුල් කට ගාපු හැමදාම මම ඉම්බ

අන්නාසි ගැටවලත් හැංගුණා තිත්ත


ආදරේ හදවතෙන් දොවා ගත් දාක

හඳ හාවා පැන ගියා අඬ අඬා රෑක

මෝරලා උඹ එද්දි පලාගෙන බොක්ක

අප්පා බුදි රත්තරන් පන්සලේ වලක


කටු ඇනුණු ඇස්වලට වගතුවක් නෑ කීව

පෝය හඳ වගේමයි රත්තරන් සුදු මූණ

ජාතකේ හිස් කොටුව පුරෝගෙන බැබලෙන්න

යශෝධරා වුනා මං උඹත් සසුනට දුන්න












Thursday 8 June 2023

සංසාර හිතවත

ඉරී වෙන් වී ගියත් ජීවිත මලේ ලස්සන පෙතී

නුබට හැකිනම් මසා ලන්නට බිඳුණු හදවත පිරි පෙතී

දැනීමයි මහ රිදීමයි එක කඳුළෙ තිබුණත් බෙදී

කවුරු කවදානම් දකින්නද රිදුණු තැන් හරි හැටී

මසාලන්නට කිසිත් නැති මුත් පාරන්න බෝ වෙතී

ජීවිතේ මල්  හැලුණු දවසක එයත් රිද්දන කටු ඉතී

මට නොහැක තව දරා ඉන්නට ජීවිතේ අත් හැර යමී

තබා සොහොනෙන් ලස්සනම මල් නුඹට නික්මී යා හැකී


වීණාවී



Thursday 1 June 2023

මීළඟ මෝසමෙත් හමුවන්න


උඩු හුළඟෙ පාවිච්ච පෙම් කතා බොහොමයක් 

වැරෙන් ගෙන වළා ගැබ පොළව මත අත හරී

බිඳෙනකොට පිපිරිලා කඳුළු කැට විසිවෙලා

බොහෝ පෙම්වත් කතා අතරමඟ මියයදී


හුළඟ සැරවැර යොදා හදවතම මිටට ගෙන 

වේගයෙන් බිම ගසා හිස්තැනක අත හරී

අහම්බෙන් ඔය මූණ වළාවක ඇඳි ඇඳී 

ආයෙමත් අකුණකින් දෙකඩ වී දිය වුණී

සංසාරෙ පුරුද්දට තනිය තනි නොකරන්න

සඳ නැතත් සඳ එක්ක තුරුලේම මියැදුණී



බිම ඉඹින මලක් ගැන අඬ අඬා උන් ගහක් අවසාන හුස්ම පොද පොළව මත අත හරී

නුඹව මං ඒ වගේ අත නොහැර නොරිදෙන්න අද නෙමේ හෙටත් මහ සෙනෙහෙන් රැක ගමී

සංසාරෙ දුර වුණත් අල්තාරයේ තරුව නුබ ළඟින් හැමදාම ආදරෙන් පායමී

ඊඟාව මෝසමට සඳ ඒවි මං ළඟට පාළු මේ දුරුත්තම තනිකමෙන් සිප ගමී


වීණාවී





Tuesday 30 May 2023

පරණ කතා

පුස් ගොඩයි දූවිලි මකුළු දැල් වැල් ගොඩයි මේ ලඟදි ඒ ලඟින් කාවෙකුත් ගියා

බිම බලන මගහරින රවන ඔරවන මූණ ඉස්සරට වඩා දැන් හරි වෙනස් වෙලා

පරණ එක හිනාවක් පොතින් බිම වැටුනහම අහම්බෙන් ඇස්වලින් හිනාවක් ගියා

ඉපැරණිම අල්ලාප සල්ලාප බොහොමයක් කන ගාව කොඳුරලා ඈතකට ගියා



හැමදාම හවස්වල ඉර බහින දවස්වල මුහුද ළඟ හවස් වරු ගොඩක් ගත වුණා

ඉතිං එහෙමත් දාක අපි ඉමුද හඳ ගාව හා පැටව් හත් දෙනෙක් වටේටම තියා 

කාලෙකට ඉස්සරින් වචන බිම වැටුණේම මම කියන වචනයත් අමතකම වෙලා

දැන් මතක නැතුවැති ඒ පරණ කතා කල් ඉකුත් වෙලත් දැන් ගොඩක් කල් ගියා







පෙම්වතා

  පිල්ලමෙන් පිල්ලමට ආදරේ මං සෙවූ දිගුම පිල්ලම් පිරුණු ඇස් දෙකකි මුලා වූ ඇඟිල්ලෙන් ඇඟිල්ලට ජීවිතේ දිග සෙවූ අතක් ඇති අහම්බෙන් නුඹ ඇවිත් තනි...